news

ads

Monday, February 20, 2012

ඇතැම් උද්ඝෝෂණවලදී ආරක්ෂක නිලධාරීන්ට පහර දුන්නා - ගෝඨාභය රාජපක්ෂ


ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදීව පැවැත්වෙන උද්ඝෝෂණ කිසිවක් නවතාලීමට ආරක්ෂක අංශ කටයුතු කර නැතැයි ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (18) පස්වරුවේ “ලක්බිම” සමග විශේෂ දුරකථන සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහෙත් කවර පාර්ශ්වයක් වුව උද්ඝෝෂණ පැවැත්විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මෙන්ම නීතියේ සීමාවන්ට යටත්ව යැයි ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
පසුගිය දිනවල පැවැති උද්ඝෝෂණ පිළිබඳ සහ ඒ ආශ්‍රිතව රට තුළ උද්ගතවූ තත්ත්වය ගැන දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක නිරත වූ ආරක්ෂක ‍ලේකම්වරයා “උද්ඝෝෂණ කිසිවක් නවත්වන්නට ආරක්ෂක අංශ කටයුතු කර නැහැ.”
එක්සත් ජාතික පක්ෂයේ වේවා ජනතා විමුක්ති පෙරමුණෙන් වේවා වෙනත් දේශපාලන කණ්ඩායමක වේවා ප්‍රජාතන්ත්‍රවාදීව උද්ඝෝෂණ පැවැත්වීමට ‍පොලීසිය බාධා කරන්නේ නැහැ. එහෙත් මේ කණ්ඩායම් නිතරම උත්සහ ගන්නේ ‍පොලීසිය සමග හෝ ආරක්ෂක අංශ සමග ගැටෙන්නටයි. පසුගියදා පැවැති ඒකාබද්ධ පාර්ශවයේ උද්ඝෝෂණයට අවසර ලබාගෙන තිබුණේ කොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණය කරන්නටයි. මම ‍පොලීසියට කිව්වා ඒ පැත්ත පළාතේ යන්න එපා කියලා. නමුත් මේ උද්ඝෝෂකකරුවන් දන්නවා අරලියගහ මන්දිරය වෙත උද්ඝෝෂණ පෙළපාළි යන්න ගියොත් ‍පොලීසිය එය වළක්වන බව දැනගෙන ඔවුන් ඒ දෙසට ගමන් කරමින් ‍පොලීසියට ගල් ගහන්න පටන් ගත්තා. රාජ්‍ය දේපළවලට පහර දුන්නා. කොළඹ බස් නැවතුමේ රථවාහන රාජකාරියේ නිරතව සිටි ‍පොලිස් නිලධාරීන්ට හොඳටම පහර දුන්නා. කොළඹ මාලිගාවතෙන් ආපු පාතාලයේ අය තමයි මේ ‍පොලිස් නිලධාරීන්ට පහර දුන්නේ. මේක ප්‍රජාත්‍රන්ත්‍රවාදයද? හෙතෙම ප්‍රශ්න කළේය.
“මේ අන්දමට නීතිය කැඩීමේ සීමාව මොකක්ද? එක්තරා සීමාවකදී මෙය නවත්වන්න වෙනවා. එහෙම නැත්නම් මුළු රටම අනිත් පැත්ත පෙරළෙයි. ඒකට ඉඩදෙන්න බැහැ.” ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
“‍පොලීසිය නීතිය හා සාමය රකින්න ඕන. එහෙම නැත්නම් ‍පොලීසිය විසුරුවලා දාන්න ඕනෑ.” හෙතම පැවැසීය.
අපිට උද්ඝෝෂණ හා පෙළපාළි නවත්වන්න ඕනැ නෑ. උසාවි ඉදිරිපිට විරෝධතා පවත්වන්න අපි ඉඩ දුන්නා. ඇයි මේ තත්ත්වයට ඉඩදුන්නේ කියලා විනිශ්චයකාරවරුපවා අපෙන් ප්‍රශ්න කළා. මේ හැම දෙයකටම සීමාවක් තිබෙන්න ඕනේ. එක්තරා සීමාවකින් ඔබ්බට ගියහම සාමාන්‍ය මහජනතාවට බාධා වෙනවා. ඕනෑම දෙයක් කරන්න දෙනව නම් රටක නීතියක් හා සාමයක් නැහැනේ. එහෙම නම් වසර තිස් ගණනකට පසු විශාල කැපවීමකින් මේ රටට සාමය ගෙන ආපු එකත් වැඩක් නෑනේ.” හෙතෙම පැවැසීය.
හලාවත සිදුවූ සිද්ධියේ දී වෙඩිතැබිමට කොතරම් දුරට අවශ්‍ය වූවා දැයි කීමට තමන් නොදන්නා බව පැවැසූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ පැවැත්වෙන බව සඳහන් කළේය.
නමුත් ඊට පෙරදිග මුහුදු වෙරළේ ආරක්ෂාවේ යෙදී සිටි නාවික හමුදා නිලධාරීන්ට පහර දුන්නා. ඔවුන් බොහෝම අමාරුවෙන් ගැලවුණේ.
මීට පෙර වතාවක් රාජකාරියෙන් පසු පැමිණෙමින් සිටි ‍පොලිස් නිලධාරියෙක් ඝාතනය කළා. ඔහු අනුරාධපුරයේ කෙනෙක්. විවාහ වී මාස ගණනයි. බිරිඳට දරුවෙක් ලැබෙන්න හිටියේ දරු පවුලක්ම අනාථ කළා. මේක ප්‍රජාතන්ත්‍රවාදයද? මේ ‍පොලිස් නිලධාරීන් දුප්පත් ගම්වලින් ආපු සාමාන්‍ය පවුල්වල අය. අපේ සමාජයේම කොටසක්” යැයි ආරක්ෂක ‍ලේකම්වරයා තවදුරටත් කීය.
“මේ සිදුවීම් සමග අපි ආපස්සට ගියොත් වැඩක් නැහැ. මෙච්චර කැපවීම් කරලා එල්.ටී.ටී.ඊ.ය පරාජය කරලා ආපහු රට ආපස්සට ගෙන ගියොත් වැඩක් නැහැ. ඒකට ඉඩදෙන්න බැහැ. රට ලබාගත් ජයග්‍රහණ රැකගත යුතුයි” ඔහු අවසාන වශයෙන් අවධාරණය කළේය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...