news

ads

Monday, February 20, 2012

ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීම හෙවත් පාඩු ලබන ආයතනවල බර මහජනතාවට පැටවීම


මේ වන විට ආර්ථිකයේ සියලුම සේවාවන්ගේ මිල ගණන් ඉහළ ගොස් ඇත. ජනතාවට හුස්මක් කටක් ගැනීමට නොහැකි වන තරමට ඔවුහු හිර වී සිටිති. ඉන්ධන මිල ගණන් ඉහළ දැමුවේ ඉකුත් සතියේදීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සියලුම ප්‍රවාහන ගාස්තු මෙන්ම බස් ගාස්තුවද සියයට 20කින් ඉහළ ගියේය. බස් ගාස්තුව පාරිභෝගිකයාට බරක් නොවන ලෙසට බස් රථවලට ලබාදීමට කටයුතු කරනවා යැයි කියූ ඉන්ධන සහනාධාරයෙන් ආණ්ඩුව හිමිහිට ලිස්සා ගියේ ඉහළ ගිය බස් ගාස්තුවේ සියලු බර ජනතාව මත පටවමිනි. හෙන පහරක් මෙන් හිස මුදුනට වැදුණු බස් ගාස්තුවෙන් තෝන්දු මාන්දු වී සිටි ජනතාව බිමටම හාන්සි වූයේ ඉක්තු 15 වෙනිදා මධ්‍යම රාත්‍රියේදීය. ඒ විදුලි බුබුළක් දල්වන පාරිභෝගිකයාද හසුවන ආකාරයෙන් විදුලි බිල විශාල ලෙස ඉහළ දැමීමට ගත් තීරණය නිසාවෙනි. ඊට හේතු වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ඉන්ධන ගැලපුම් ගාස්තුවත් විදුලි බිලට එක්වූ බවයි. එසේ නොමැතිව විදුලි බල මණ්ඩලයේ පාඩුව අවම කරගැනීමේ උවමනාවෙන් විදුලි බිල ඉහළ නොදැමූ බව කීමට තරම් ඔවුහු පරිස්සම් වෙති. විදුලි බල මණ්ඩලයේ හෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩු ජනතාවට අදාළ වන්නේ නැත. මේ ආයතන අතීතයේදී ලාබ ලැබූ ආයතනයන්ය. දැන් පාඩු ලබන ආයතන බවට පත්ව ඇත්තේ ජනතාවගේ වරදක් නිසා නොවේය. එහෙත් අවාසනාවකට මෙන් අද දවසේ රාජ්‍ය ආයතනවල පාඩු පියවීමට සිදුවී තිබෙන්නේ මහජනතාවටය. උදාහරණයක් ලෙස 2012 වසර සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 9700ක සහනාධාරයක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදීමට යෝජිතය. මහා භාණ්ඩාගාරය එසේ ලබාදෙන්නේ මහජනතාවගේ බදු මුදල්ය. එසේ මහජන මුදල් ලබාදෙන්නේ ඉන්ධන ගැලපුම් ගාස්තුව දඩමීමා කරගෙන විදුලි බිල ඉහළ දැමීමෙන්ද අනතුරුවය.
ඉන්ධන ගැලපුම් ගාස්තුව අය කිරීම නිසා ඒකක 1ත් 30ත් දක්වා සියයට 25කින්ද ඒකක 30ත් 60ත් දක්වා සියයට 35කින්ද ඒකක 60 වැඩියෙන් භාවිතා කරන පාරිභෝගිකයකුගෙන් සියයට 40ක්ද වශයෙන් විදුලිය බිල වැඩි වේ.
ඒ අනුව විදුලි ඒකක 30ක් භාවිතා කරන පාරිභෝගිකයකුගේ විදුලිය බිල රුපියල් 20.50කින්ද ඒකක 60 භාවිතා කරන පාරිභෝගිකයකුගේ බිල රු. 80.85කින්ද ඒකක 90ක් භාවිතා කරන්නෙකුගේ බිල රුපියල් 182.40කින්ද ඒකක 120ක් භාවිතා කරන්නෙකුගේ විදුලි බිල රු. 434.40කින්ද ඒකක 180ක් භාවිතා කරන්නෙකුගේ විදුලි බිල රු. 1010.40කින්ද වැඩි වේ.
ඉන්ධන ගැලපුම් ගාස්තුවක් අය නොකළේ නම් ලංකා විදුලි බල මණ්ඩලය අඛණ්ඩව විදුලි සැපයුමක් ලබාදිය නොහැකි වන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන විට එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ රජය පැවැසුවේ මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිවෙන ජල විදුලි බලාගාරවලින් නිපදවෙන විදුලියෙන් අතිරික්තය දකුණු ඉන්දියාවටද ලබාදිය හැකිවන බවයි. නමුත් එය දේශපාලන බේගලයක් බව 1990 දශකයේදීම ඔප්පු විය. දකුණු ඉන්දියාවට තබා ශ්‍රී ලංකාවටත් විදුලිය ලබාදීමට මහවැලි ජලාශයේ ජල විදුලි බලාගාර සමත් වූයේ නැත. දිවා රෑ දෙකේම විදුලිය පැය ගණන් කපා දැමුවේය. ඉන්පසු ඩීසල් ඉන්ධන බලාගාරවල පිහිට පැතීමට සිදුවිය.
අනුරුද්ධ රත්වත්තේ මහතා විදුලි බිල අමාත්‍යවරයාව සිටියදී (චන්ද්‍රිකා රජයේ) බත්තලකින් දැවැන්ත ජෙනරේටරයක් කැලණිය ගඟ හරහා සපුගස්කන්දට ගෙන ගියේය. එදා ඔහු කීවේ මින්පසු විදුලිය කැපීමක් නැතැයි කියාය. එහෙත් 2000 දශකයේ ආරම්භයේදීම නැවතත් විදුලිය කැපීමට සිදුවිය. එවකට විදුලි බල හා බලශක්ති ඇමැතිව සිටි කරු ජයසූරිය මහතා (රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ රජයේ) කැලණිතිස්ස විදුලි බලාගාරය නවීකරණය කරමින් අනතුරුව පැවැසුවේ දැන් ඉතින් විදුලිය කැපීමක් නැත කියාය. එහෙත් වසර දෙකක් ඇවෑමෙන් යළිත් විදුලිය කැපීමට සිදුවිය.
අනතුරුව 2005 වර්ෂයේදී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ රජය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නොරොච්චෝ‍ලේ ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීමට කටයුතු කළේය. 2011 මාර්තු 22දා ජනතා අයිතියට පත් කළ නොරොච්චෝ‍ලේ ‘ලක්විජය’ ගල් අඟුරු බලාගාරයෙන් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරනු ලැබිය. එදා ආණ්ඩුවේ බලධාරීන් පැවැසුවේ යළිත් ශ්‍රී ලංකාවේ විදුලිය කැපීමට සිදුනොවන බවය.
එහෙත් ගල් අඟුරු බලාගාරය විවෘතතොට වසරක් පිරීමට මත්තෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කියන්නේ ඉන්ධන ගැලපුම් ගාස්තුවක් අය නොකළේනම්. ලංකා විදුලිබල මණ්ඩලයට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දිය නොහැකි බවයි. වෙනත් වචනවලින් කිවහොත් විදුලිය කැපීමට සිදුවන බවයි.
මෙනයින් බලන කල පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍යම බලශක්තියක් වන විදුලි බලය පිළිබඳ තවමත් අපට විශ්වාසයක් තැබිම අසීරු වන බවයි. ඉන්ධන බලාගාර මගින් විදුලිය උත්පාදනය කිරීම පිරිවැය අධික කාර්යයක් බව අමුතුවෙන් කිවයුතු නැත.
දකුණු ඉන්දියාවටද විදුලිය ලබාදෙනවා යැයි වහසි බස් දෙඩූ දේශපාලකයින්ගේ සිට අද දක්වා ආණ්ඩුකරන සියලුම දේශපාලකයින්ගේ මේ රටේ විදුලිබල අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම සපුරාලීමට අසමත් වීම පිළිබඳව අඩුවැඩි නොමැතිව වගකිව යුතුව ඇත. විදුලි බලය සම්බන්ධයෙන් එදා සිට අද දක්වාම සිටි දේශපාලකයින් මේ රටේ ජනතාව ගොනාට අන්දවා ඔවුනට වංචා කෙරූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද ශ්‍රී ලාංකික පාරිභෝගිකයා ලෝකයේ ඉහළම විදුලි බිලක් ගෙවන පාරිභෝගිකයකුගේ තත්ත්වයට පත්ව තිබේ.
හෙට දවසේ ගෑස් මිල ඉහළ යනු නියතය. ජනතාවට ජීවත්වීම අතිශයින්ම බැරෑරුම් කටයුත්තක් වන්නේ වැටුප සහ ආදායම ස්ථාවරව තිබියදී ආර්ථිකයේ සකලවිධ භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් ඉහළ යන නිසාය. ඩීසල් ඉහළ යාම නිසා මිල වැඩි වූ පිසූ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් තවත් වටයකින් ඉහළ යන්නේ ගෑස් වැඩි වූ දා සිටය.
ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්න බඳු සිදුවීමක්ද දැන් ආර්ථිකයේ සිදුවී තිබේ. ඒ ශ්‍රී ලංකාවේ රුපියල ඇමෙරිකන් ඩොලරය ඇතුළු විදේශ මුදල්වලට සාපේක්ෂව දිගින් දිගටම අව ප්‍රමාණය වීමයි. 2011 වර්ෂය ආරම්භයේ රුපියල් 110ක් පමණ වූ ඇමෙරිකන් ඩොලරය මේ වන විට රුපියල් 120 සීමාවට පැමිණ තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආනයන භාණ්ඩවලට අප ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩි වී තිබේ. නමුත් එහි වැඩිපුර ගෙවීමට ජනතාවට රුපියල් අලුතින් ලබාදීමට මාර්ගයක් නොමැත.
තිබෙන රුපියල් ටිකත් බස් ගාස්තුවට, පාසල් වෑන් රථයට, විදුලි බිලට, ගෑස් සිලින්ඩරයට ගෙවූ පසු අත ඉතිරිවන දෙයක් නැත. මේ නිසා හෙට දවසේ ජනතාවගේ ජීවන තත්ත්වය පහළ වැටෙනවාට අමතරව ඔවුන්ගේ ඉතිරි කිරීම් බරපතළ ලෙස පහළ වැටේ යැයි අපේක්ෂා කළ හැකිය. ඉතිරි කිරීම් පහළ වැටීම රටේ ආයෝජනයට අවශ්‍ය කරන අරමුදල්වල හිඟයක් නිර්මාණය කරනු ලබන සාධකයකි. ආයෝජනය පහළ වැටීම රටේ නිමැවුම හා සේවා නියුක්තිය පහළ වැටීමකි. එහි අනිවාර්ය ප්‍රතිඵලය රටේ ආර්ථික වර්ධන වේගය පහළ වැටීමය.
රටේ ආර්ථික කාරණා අරභයා උද්ඝෝෂණ හා මහජන නොසන්සුන්තා ඇති වී තිබේ. ඒ පිටුපස කිසියම් දේශපාලන කණ්ඩායම් හෝ අදෘශ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මක වුවද එවැන්නකට මඟපෑදීමක් සිදුවූයේ රජය ගනු ලැබූ තීන්දු තීරණ නිසා බව පැහැදිලිය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩීසල් මිල රුපියල් 31කින්ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 35කින්ද, ඉහළ ගියේ ඉකුත් සතියේදීය. හලාවත, මීගමුව ආදී මුහුදු බඩ පළාත්වල ධීවරයින් පාරට බැස්සේ ඉහළ දැමූ ඉන්ධන මිල දඩමීමා කරගෙනය. ගැටුම දුරදිග ගියෙන් ධීවරයකු වෙඩි වැදී මියගොස් තවත් තිදෙනකු බරපතළ තුවාල ලබන තත්ත්වයකට පත්විය. එම කනගාටුදායක තත්ත්වය කරුණු කොටගෙන හලාවත ප්‍රදේශයට ‍පොලිස් ඇඳිරි නීතිය පැනවීම පවා සිදුවිය.
රජය මූල්‍ය අර්බුදයකට මුහුණදී සිටින බව පැහැදිලිය. එසේ නොමැති නම් ලෝක වෙළෙඳ ‍පොළේ බොරතෙල් බැරලයේ මිල ඩොලර් 117ට වැඩි වූ සැණින් මේ තරම් ඉහළ ප්‍රතිශතයකින් දේශීය වෙළෙඳ ‍පොළේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට අවශ්‍ය වන්නේ නැත. උදාහරණයක් ලෙස 2011 වසරේ මුල් කාර්තුව ඇතුළත ලෝක වෙළෙඳ ‍පොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 120ක පමණ මට්ටමට ඉහළ ගියේය. එහෙත් 2011 අප්‍රේල් 02දා (ලෝක කුසලාන ක්‍රිකට් තරගය පැවැති දින) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක මිල ඉහළ දැමුවේ රුපියල් 3.00කිනි. භූමිතෙල් ලීටරයක මිල ඉහළ ගියේ රුපියල් 10කිනි. නමුත් අද බොරතෙල් බැරලය ඇමෙරිකන් ඩොලර් 117ට යන විට ඩීසල් ලීටරයක මිල 2011 වර්ෂයේ මිල ඉහළ දැමීමට සාපේක්ෂ දහ ගුණයකින් වැඩි වී තිබේ.
ආණ්ඩුව කිසියම් මූල්‍ය අර්බුදයක් නොමැති නම් ඉන්ධන සඳහා ‍පොදුවේ සහනාධාරයක් ලබාදෙමින් අඩු ප්‍රතිශතයකින් මිල වැඩි කිරීමට හැකියාව තිබුණි. අද හැම ගැටලුවක්ම ඇති වී තිබෙන්නේ ඉන්ධන මිල මේ තරම් ඉහළ ගණනකින් වැඩි කිරීමත් එය මුළුමනින්ම ජනතාවගේ කරපිට පැටවීමත් නිසාය.
රජය මූල්‍ය විනයක් යටතේ යහපත් ආර්ථික කළමනාකරණයක් පවත්වාගෙන යායුතුව ඇත. රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමට (බදු පැනවීම හැර) කඩිනම් වැඩපිළිවෙළක් දියත් කළ යුතුව තිබෙන බව ඉතාම පැහැදිලිය. විදේශීය රටවලින් හා මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීමේදී විවිධ කොන්දේසිවලට යටත් වීමට සිදුවන්නේය. එම කොන්දේසි අවසානයේ පැටවෙන්නේ ජනතාවගේ කරපිටය. ඉහළ ජීවන බරකින් පීඩා විඳින ජනතාවට එවැනි බරක් දරා ගැනීම අසීරුය. එවැනි පසුබිමක් යටතේ රජය විසින් කළ යුතු වන්නේ සියලුම නාස්තිකාර වියදම් කපා දමමින් සියලු ශක්තීන් හැකියාවන් හා බලය උපයෝගී කර ගනිමින් කඩිනම් ආර්ථික සංවර්ධනයක් තුළින් රටේත් ජනතාවගේත් ආදායම් ඉහළ නැංවීමට වැඩපිළිවෙළක් වහාම දියත් කිරීමයි. එය දින සියයේ වැඩපිළිවෙළක් හෝ මාස තුනේ වැඩපිළිවෙළක් වශයෙන් කැමති ඕනෑම නමක් යටතේ හැඳින් වූවාට වරදක් නොමැත.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...