news

ads

Sunday, February 19, 2012

මාදුරුඔය අලුත් වෙලා

අපේ රටේ සියලුම ජාතික වනෝද්‍යානවල වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වනජිවි මාර්ගෝපදේශකයෝ සිටිති. මාදුරුඔය ජාතික වන උයන නැරැඹීමට ඔබ ගියහොත් වන උයනේ සියලු මාර්ග පමණක් නොව සියලු ගහ කොළ සතා සිපාවා පිළිබඳ මනා දැනුමක් ඇති අලුතෙන් පත්වීම් ලැබු මාර්ගෝපදේශකයන් පිරිසක් ඔබට මුණ ගැසෙනු ඇත. ඒ මෑතකදී පත්වීම් ලද වැදි තරුණයන් පිරිසයි.

වැදි තරුණයන් 12 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් මෙලෙස පත්වීම් ලැබ ඇත්තාහ. මේ පියවර ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආදි වාසි පරපුර සුරැකීමේ තවත් පියවරක් ලෙසිනි. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හා ඇමැති එස්.එම්. චන්ද්‍රසේන යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත මාදුරුඔය ජාතික වන උයන සංවර්ධනයට වනජිවි සංරක්ෂණයට තවත් වැදගත් පියවර රැසක් ගෙන තිබේ. ඉන් තවත් එක් පියවරක් වනුයේ මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුළුවීමට ගල්කඩ ප්‍රදේශයේ පිවිසුම් දොරටුවක් විවෘත කිරීමයි. මහියංගණය ප්‍රදේශයේ වන්දනාවේ එන අයට දඹාන ආදිවාසි ගම්මානය අසලින් මාදුරුඔය උද්‍යානයට පහසුවෙන්ම ඇතුළුවිය හැකිය.

මාදුරුඔය ජාතික උද්‍යානයේ විශාල ජලාශ 6 ක් පිහිටා ඇත. ඉන් ප්‍රධාන එක මාදුරුඔය ජලාශයයි. මෙය මහවැලි පංච මහා ජලාශවලින් එකකි. අනෙක්වා අතර ප්‍රධාන රත්කිඳ හා උල්හිටිය ජලාශ යුගලයි. ඒ සමඟම හෙනානිගල, කඩුපහර හා නාගොල්ල යන වැව් ද මෙහි වේ.

ඝන මීටර් මිලියන 145.3 ක ජල ධාරිතාවක් ඇති මේ රත්කිඳ හා උල්හිටිය වැව් නිර්මාණය කිරීමේ ප්‍රධාන අවශ්‍යතාව වී ඇත්තේ මාදුරුඔය ජලාශයට පෝෂණය සපයන ජල රක්ෂිතය බිහි කිරීම සඳහා බව මහවැලි අධිකාරිය කියයි. මාදුරුඔය ජලාශය පෝෂණය වන්නේ මේ ජලාශ දෙකේ වැඩි වතුරෙන් ඒ සමඟම රන්ටැඹේ ජලාශයෙන් නිකුත් කරන ඇළ මාර්ගයෙන් ද ජලය ලැබේ.

මහියංගණය මහඔය මාර්ගයේ කිලෝමීටර් 15 ක් පමණ ගිය විට දකුණට හැරි උල්හිටිය ජලාශය නැරැඹීමට යා හැකිය. එහි වේල්ල ඔස්සේ තවත් සැතපුම් 2 - 3 ක් පමණ ගිය විට රත්කිඳ ජලාශය හමු වේ. සවස් කාලයේ ඔබ මේ ප්‍රදේශයට යන්නේ නම් වල් අලි සෑහෙන ප්‍රමාණයක් බලා ගැනීමට අවස්ථාව ලැබේ. අලි රංචු මෙම ජලාශවල පිහිනා යෑමේ දර්ශනය සවස 5 - 6 වන විට ඔබට බලාගත හැකි වේ. ඒ සුවිශේෂ අවස්ථාවක් ජීවිතයේ සදානුස්මරණිය සිහිවටනයක් වනු ඇත.

මාදුරුඔය ජාතික උද්‍යානයට පැමිණීමට මාර්ග කිහිපයක්ම ඇත. ඒ අලුත් පිවිසුම මඟින් මාදුරුඔය වන උයනට ඇතුළු වීමට දඹානට ආ යුතුය. මහියංගණය සිට මහඔය පාරේ කිලෝමීටර් 8 - 10 ක් පමණ ගිය විට හමුවෙන දඹාන හන්දියෙන් දකුණට හැරි දඹානට පැමිණිය හැකිය. ඊට අමතරව අම්පාර මඩකළපුව සිට පැමිණෙන විට මහියංගණය දඹාන හන්දියෙන් දකුණට හැරි දඹානට පිවිසීමට පුළුවන. පොලොන්නරුවේ සිට පැමිණෙන විට මනම්පිටිය ගිරාඳුරුකෝට්ටේ ඔස්සේ පැමිණ ගිරාඳුරුකෝට්ටෙන් 51 හන්දියට වැටේ. කෙටි මග ඔස්සේ මහඔය මාර්ගයට පැමිණ දඹානට යා හැකිය. ඊට අමතරව නාඋල නගරයෙන් ඇළහැර මාර්ගයට හැරි ඇළහැර පල්ලෙගම හෙට්ටිපොළ හදුන්ගමුව හරහා ජපන් මිත්‍රත්ව පාලම ඔස්සේ ගිරාඳුරුකෝට්ටෙට පැමිණීමෙන් ද දඹානට පැමිණීමට පුළුවන. 

මෙතෙක් කල් යුද්ධයේ භීෂණය නිසා වසා දමා තිබුණු අරලගංවිල මහඔය මාර්ගය ද දැන් විවෘතව පවතී. මෙය කොළඹ සිට පැමිණෙන අයට දඹානට පැමිණීමට කෙටි මඟකි. මහඔය සිට මහියංගණය පාරේ කිලෝමීටර් 30 ක් පැමිණුන විට දඹානට පැමිණීමට හැකිය. දඹාන වනාහි පාරම්පරික ආදි වාසි ගම්මානයකි. එය පිහිටා ඇත්තේ මාදුරුඔය ජාතික උද්‍යානය ඇතුළතය. දඹාන යැයි ප්‍රකට වුවද ඒ වන උයනේ වැදි පවුල් 360 ක් පමණ ප්‍රදේශයක ආදි වාසි ගම්මාන 4 ක් වෙයි. ඒ දඹාන, කොටබකිනිය, ගුරුකුඹුර හා වතුයාය ලෙසය.

දඹාන ආදි වාසි ගම්මානවල සැරිසැරීම ද කදිම පාරිසරික ජෛව විද්‍යාත්මක සංස්කෘතික පාරම්පරික දැනුමක් අපට ලබා ගත හැකි අත්දැකීමකි.

ඒ සමඟම අපි දැන් ඊළඟට මාදුරුඔයට යමු. අලි වැඩිපුර සිටින මාදුරුඔය ලස්සන වැඩියෙන්ම බැලිය හැක්කේ සවස 4 - 6 අතර මාදුරුඔය ජලාශය අසලට හෝ වේල්ල උඩට යාමෙන්ය. වියළි කලාපීය ශාකවලින් පරිපූර්ණ වූ මේ වන උයන ඇතුළත දිවියා, වලහා, ගෝනා, තිත් මුවා, වල් ඌරා බහුලව දැකීමට පුළුවන.

පුරා විද්‍යාත්මක හා සංස්කෘතික වටිනාකම්වලින් යුත් හේනානිගල, කුඩා විල, ගුරු කුඹුර, උලුරත්කැන්ගොඩ, වේරපොකුණ යන ස්ථානයන් ද උද්‍යානය ආශි‍්‍රතව පිහිටා ඇත. ඒ අනුව මේ වන උයන පාරිසරික, පුරා විද්‍යාත්මක හා සංස්කෘතික වශයෙන් ඉතා වැදගත් පරිසර තෝතැන්නකි.

අම්පාර දිස්ත්‍රික්කයේ පොලොන්නරුව - මහියංගණය පදියතලාව අතරේ පිහිටා ඇති මෙම වනෝද්‍යානය නැගෙනහිරින් ඌව පළාතට මායිම්ව ද, බටහිරින් හා උතුරු දෙසින් මහවැලි ගඟට ද, දකුණු හා නැගෙනහිර ප්‍රදේශයේ තේක්ක වගාවකින් හා කැලෑවකින් ද වට වී තිබේ. මෙම ජාතික වනෝද්‍යානයේ විශාලත්වය සියයට 15 ක් පමණ ජලයෙන් පිරී පැවතීමයි.

මෙම ජාතික උද්‍යානයේ විශේෂයෙන් සංස්කෘතික වටිනාකමක් ඇති වෙහෙර විහාර හා නටබුන් බහුලව දක්නට ලැබේ. මාදුරුඔය සිට පොළොව යටින් ජලය ගෙනයන සොරොව්වක් මෑතකදී සොයාගෙන තිබේ. මැටිවලින් ගලින් හා ගඩොලින් සාදා ඇති මේ සොරොව්ව දිගින් අඩි 219 ක් හා පළලින් අඩි 30 ක් හා උසින් අඩි 30 ක් ද වේ. හයවැනි සියවසට අයත් යැයි අනුමාන කෙරෙන මේ සොරොව්ව එක් බිත්තියක් මැටියෙන් සාදා ගෙන තිබීම විශේෂත්වයකි.

මාදුරුඔය වන උයන නැරැඹීමට එන අයට ආදි වාසින්ගේ ආහාරපානවල රස බැලිමට ද අවශ්‍ය නම් පහසුකම් ලබා දිය හැකිය. ඒ සමඟම ආදි වාසින්ගේ නිපැයුම් ඉහළ නැංවීමට ද ඉන් ඔවුනට වැඩි ආදායමක් ලබාදීමට ද කටයුතු කෙරේ.

ගහකොළ සතා සීපාවන්ට ආදරය කරන්නන්ට ස්වභාව ධර්මයේ අසිරිය විඳීමට කැමැති වූවන්ට එහි අසිරිය භුක්ති විඳීමට කැමැති වූවන්ට ඊට අවශ්‍ය පහසුකම් සලසා ඇත. මාදුරුඔය ජාතික උද්‍යානය ආදි වාසි ගම්මානයක් අසල පිහිටි එකම ගම්මානයයි. මේ අනුව මේ මාදුරුඔය ජාතික උද්‍යානය දෙස විදෙස් සංචාරකයන්ට පමණක් නොව පරිසරවේදීන්ට පර්යේෂකයන්ට මෙන්ම සරසවි සිසුන්ට ගවේෂකයන්ට කදිම පර්යේෂණ මධ්‍යස්ථානයකි. නවමු අත්දැකීම් රැසක් ගෙන එන මාදුරුඔය ජාතික වන උයනේ සංචාරයේ යෙදීමට සතුටුනම් දුරකථන අංක 0273279207 ඇමැතීමෙන් වැඩි විස්තර දැන ගත හැකිය.

නිහාල් පී. අබේසිංහ

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...