ඒ පොසොන් දාට පහුවැනිදාය. කමල් සුපුරුදු පරිදි තම ව්‍යාපාරික ආයතනයට ගොඩ වූයේ උදෑසනින් ම ය. රන්මුතුගල කර්මාන්ත පුරයට කිට්ටුවන්නට පිහිටි එය දහවල් වනවිට තරමක කාර්යබහුල වන ව්‍යාපාරික ස්ථානයකි. ඒ; එය නුවර ප්‍රධාන පාරට මුහුණලා තිබෙන ප්‍රමුඛ පෙළේ සන්නිවේදන ආයතනයක් වූ බැවිනි. එනිසාම කමල් දිනපතා උදෑසනින්ම සේවා ස්ථානයට පැමිණ පිරිසිදු කිරීම දිනපතා සිදුකරන කාර්යයකි.
පසුගිය දහසය වැනිදා කමල් සිය සන්නිවේදන පියස විවෘත කළේ දිනක නිවාඩුවකින් පසුව ය. කඩයට ඇතුළුවූ සැනින් කමල්ගේ නාසයට දුගඳක් දැනුණි. එ සැනින් කමල්ගේ සිහියට නැඟුනේ පෙරදා කඩයේ දොරමුල්ලේ තැබූ කාට හෝ අමතකව ගිය බෑගයයි. ඔහු වහා කිට්ටු වූයේ දොරමුල්ලේ තැබූ බෑගයට ය. බෑගයෙන් ලේ වැනි යමක් වහනය වී තිබූ අතර දුගඳ උහුලන්නට බැරිය.
“මාළු බෑග් එකක්ද කොහේද? හොඳටම නරක් වෙලා වගෙයි.”
කමල් එසේ සිතමින් බෑගය අතට ගත්තේ ය. විසි කරන්නට තැනක් බැලුවද ප්‍රධාන පාර අසල තැනක් නොතිබුණේ ය.
“සෙනඟ එන්න කලින් ගේ ළඟ කුණු ගොඩට දාලා එන්න ඕනේ...”
සැනෙකින් බෑගය අතට ගත් ඔහු යතුරුපැදියේ නැගී සූරියපාලුව පාරේ පිහිටි තම නිවස අසල කුණු ගොඩට විසි කළේ ය. වහා කඩයට පැමිණි කමල් ඇතුළත පිරිසිදු කොට ව්‍යාපාරික ස්ථානයේ වැඩ කටයුතු පටන් ගත්තේ ය.
එදා දිනය ද සුපුරුදු පරිදි ගෙවී ගියේ ය.
පොසොන් නිවාඩුවට ගම්බිම් බලා ගොස් සිටි බොහෝ දෙනෙක් නැවැත පැමිණ නොසිටි හෙයින් කමල්ගේ සන්නිවේදන පියස ගත්තේ තරමක විවේකී සිරියකි. කමල්ට කම්මැලිකමක් දැනෙන්නට විය. වෙනදාට කලියෙන් කමල් නිවසට ගියේ ය. බිරිය සාදාදුන් තේ කෝප්පය රස බලමින් කමල් දවසේ විස්තර බිරියට පවසමින් සිටියේ ය. හිටි හැටියේ කමල් පුටුවෙන් නැඟිට්ටේ හිස් කෝප්පය බිරිය අත තබමිනි.
“උදේ ඉඩධන එකේ තිබිලා කුණු වෙච්ච මාළු බෑග් එකක් ගෙනැල්ලා කුණු ගොඩට දැම්මා. වැස්ස එන්න කලින් කුණුගොඩ පුච්චලා දැම්මොත් හොඳයි. නැත්නම් ඒ ගඳට ඉන්න බැරිවෙයි....”
කියමින් කමල් කුණු පුච්චන්නට ගියේ භූමිතෙල් බෝතලයක් ද අතැතිව ය. භූමිතෙල් යහමින් කසල ගොඩට හැලූ ඔහු ගිනි තිබ්බේය. කසල ගොඩ අවුස්සමින් ගිනි ගන්නා අතරේ ඔහු දුටු දෙයින් භය භිරාන්ත වූයේ ය. වහාම ඔහු ගින්න නිවා දැම්මේ ය. ගිනිගෙන බාගෙට දැවුණු කලු පැහැති බෑගය ළඟට ගොස් ඔහු හොඳින් බැලුවේය.
“දෙවියනේ පුංචි දරුවෙකුගේ කකුලක් වගෙයි...”
තව තවත් ඔහු බෑගය එහා මෙහා කර බැලුවේය. පුංචිම පුංචි දරු පැටියෙකුගේ අතපය සිහින් සිරුරක්. තරුණ ව්‍යාපාරිකයා වහා කලබල වූයේය. අසල්වාසීන් ද එක් රොක් වූහ. අනතුරුව තරුණයා කඩවත පොලිසියට ගොස් අහම්බෙන් දුටු බිළිඳු දරුවා ගැන පැමිණිල්ලක් පොලිස් පොතේ සටහන් කළේ ය. අහස පොළොව නුහුලන තවත් නොදරුවෙකුගේ ඝාතනයක් රටට අනාවරණය වූයේ එලෙසය.
“මගේ කඩේ ටෙලිෆෝන් බූත් එකක කලුපාට බෑග් එකක් අමතක වෙලා ගිහින් තිබුණා. මම හිතුවේ කෝල් එකක් ගන්න ආව කාට හරි කෙනෙකුට අමතක වෙලා ඇති. කීයට හරි ඒවිනේ කියලා මම බලාගෙන හිටියා. හවස් වෙනතුරු මම බැලුවා. ඒත් කවුරුත් ආවේ නැහැ.”
“ මේ බෑග් එක කවුරු ගෙනල්ලා දැම්මද කියන්න මට නිච්චියක් නැහැ.”
විසිතුන්හැවිරිදි තරුණ ව්‍යාපාරිකයා දුටු සියල්ල පොලිස් නිලධාරීන්ට කීවේය. පැමිණිල්ල ලියා ගැනීමෙන් පසු පොලිස් නිලධාරීහු සූරියපාළුව පිහිටි තරුණයාගේ නිවස අසල කසල ගොඩ පරීක්‍ෂා කළේ ය. හොඳින් වැඩුණු සිරුරක් සහිත බිළිෙඳකු සිටි අතර ගෙලෙහි ලණුවක් වැනි යමක් දක්නට තිබුණි. ඒ වනවිට බිළිඳු සිරුර හඳුනා ගැන්මට නොහැකි තරමටම නරක් වී තිබුණි.
“එදා රාත්‍රියේ අපි ආරක්‍ෂාවට පොලිස් නිලධාරීන් එතැන රැඳෙව්වා. පහුවැනිදා අත්තනගල්ල මහේස්ත්‍රාත් මැකී මොහොමඩ් මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කළා. මේ පිළිබඳව අපි පරීක්‍ෂණ පවත්වමින් ඉන්නේ...”
කඩවත පොලිසියේ ස්ථානාධිපති ආර්. ඒ. එස්. බී. මගලේගොඩ මහතා “මාංචු” වට පැවැසීය.
“මේ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලා බොහෝමයක් තිබෙනවා. ඒනිසා නවාතැන් ගෙන සිටින පිරිස් අතිවිශාලයි. ඒ බොහෝමයක් තරුණ තරුණියන්. මේ දේ කවුරු කළාද කියලා තවම පැහැදිලි සාක්‍ෂියක් නැහැ. කොහොම වුණත් කවුරු හරි මේ කරලා තියෙන්නේ දරුවෙකුව තියා සතා සිවුපාවෙකුටවත් කළ යුතු දෙයක් නෙමෙයි. අහිංසක දරුවෙක් අකාලයේ මිලින වෙලා.”
කඩවත පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවැසුවේ හැඟීම්බරව ය.
දරුවන් සමාන කරනුයේ මල්වලට ය. එතරම් ම දරුවෝ සුන්දරය. සුවඳවත් ය. ලස්සන ය. ලොව බබළවන්නේ ලස්සන කරනුයේ මේ මල් වැනි දරුවන් ය. රටේ අනාගතය දරුවන් ය. මිහිපිට තිබෙන වටිනාම අමිල වස්තුවක් ඇත්නම් ඒ ද දරුවන් ය. එවන් වූ රත්තරන් දරුවන්ට වර්තමානයේ සිදුවන ගැහැට අවමන් නම් නිමක් නැත. වැදූ මොහොතේ ප්‍රාණය සිරකොට වළලා දමන සමාජයකි. නැතහොත් හුස්ම තද කොට මහ මඟ දමා යන සමාජයකි. මුළුතැන්ගෙය වළ දමන සමාජයකි. ගඟට මුහුදට විසි කරන සමාජයකි.
වත්මන් අම්මාවරු මේ තරම්ම කුරිරු වුයේ ඇයි? දස මසක් කුස සිටි දරුවා මෙලොව එළිය දකින මොහොතේම මෙවන් අපරාධවලට ලක් කරන්නට නොදරුවා කළ වරද කියනු මැන. මෙවැන්නියන්ට මව්වරු යැයි කිව හැකි ද? ජීවිතයක් නසාලන මෙවැනි නරුමයන්ට කිසිදා හෘද සාක්‍ෂියෙන් නම් ගැළවීමක් ලැබෙනු බොරු ය. ජීවිතයේ කවදා කොයි මොහොතේ හෝ ඔවුනට ඵල විපාක ලැබෙනු නියතය. එය එසේම විය යුතුය. මක්නිසාද කුමන හෝ වේවා සමාජ, ආර්ථික ප්‍රශ්න නමුත් පර පණක් නසන්නට කිසිවෙකුට අයිතියක් නැත. ජීවත් වීමේ අයිතියක් ඔබට මට මෙන්ම මෙලොව එළිය දකින කුඩා බිළිඳාට සතා සිවුපාවාට ද එක හා සමානය.
දරුවෙකු වැදූ පමණින් හැම ගැහැනියක් මවක් වනවාද? එය සිතීම ඔබට බාරය.
news
You may also like
ads
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment