news

ads

Sunday, February 19, 2012

රට්‌ටු නොදන්නා කොත්තු බාස්‌ලා.

රට්‌ටු නොදන්නා කොත්තු බාස්‌ලා....

ජීවිතය පිළිබඳ කොතෙක්‌ නම් විවරණ කෙරී තිබේද? ඇතැම්හු එය මල් යහනාවක්‌ ලෙස දකිති. එමෙන්ම තවත් අය එය කඳුළු ගංගාවකැයි ද කියති. කෙසේ වුවද මිනිසුන් උපන්දා සිටම වෙහෙසෙන්නේ ජීවිතය ජීවත් කරවීමටය. ඔවුහු ඒ සඳහා නොකරන දෙයක්‌ නොමැත. අප මේ සටහන් කරන්නට යන්නේ ද ගිනියම් වූ තැටියක්‌ ජීවන ඔරුව කරගෙන තම පවුල ජීවත් කරවීමට දැවෙන එවැනි මිනිසුන් පිරිසක්‌ පිළිබඳවය. එනම් ආපනශාලාවල කොත්තු සාදන කොත්තු බාස්‌ලා පිළිබඳවය.

සීලිමේ සුළං පංකාව උපරිම වේගයෙන් කරකැවෙමින් තිබිණි. එහෙත් කවුළුවක්‌ නොමැති මුළු ආපනශාලාවම වාතය රහිත තැනක්‌ සේය. සුදු හුණු ගෑ බිත්තිවලින් මතු වන රස්‌නය පහත් ලෑලි සිවිලිම හේතුවෙන් පහළට තෙරපෙයි. ගෑස්‌ ලිපෙන් රත් වන යකඩ තැටියේ රස්‌නය පිටවීමට ද කවුළුවක්‌ නොමැත. එහෙත් ආපනශාලාව තුළ නම් හිස්‌ පුටුවක්‌ සොයාගැනීමට නොහැකි තරම්ය. විවිධ කෑම තසිම් අතින් ගත් වේටර්වරු රොබෝවරුන් මෙන් එහාට මෙහාට දිව යති. වීදුරුවලින් ආවරණය වුණු පුංචි කුටියේ ගෑස්‌ ලිප් දෙකක්‌ දැල් වේ. එකකින් යකඩ තැටියක්‌ රත් වෙයි. අනෙක්‌ ලිප මත තරමක්‌ විශාල තාච්චියක්‌ රත් වෙයි. දෙදෙනෙක්‌ කොත්තු සහ රයිස්‌ සාදමින් සිටියහ. අපි මොහොතක්‌ ආපනශාලාව තුළ සිදුවෙන පුංචි යුද්ධය දෙස බලා සිට මුදල් අයකැමියේ සිටි පුද්ගලයාගෙන් අවසරය ගෙන කොත්තු සාදන කොත්තු බාස්‌ අසලට ගියෙමු. ඔහු රත් වුණු යකඩ තැටිය මත රිද්මයකට මෙන් කොත්තුවක්‌ කොටමින් සිටියේය. ඔහු කොටන කොත්තුවේ සුවඳ අපගේ නැහැ පුඩු අතරින් ඇතුළට ගොස්‌ සිත තුළ කොත්තුවක රස බැලීමේ ආශාවක්‌ ද ඇති කළේය. එහෙත් අප වෙළෙඳසලට ගොඩ වුයේ කොත්තුවල රස බැලීමට නොව, කොත්තු බාස්‌ලාගේ හදවත්වලට කතා කිරීමටය.

මේ ආපනශාලාවේ කොත්තු බාස්‌ගේ නම ඡේසුදාස්‌ය. ඔහුගේ ගම් පළාත බදුල්ල මඩොල්සිමය. වසර හතකට වැඩි කාලයක සිට කොත්තු සැදීම වෘත්තිය කරගත් ඡේසුදාස්‌ගේ හඬට දැන් අපි මොහොතක්‌ සවන් යොමු කරමු.

"මම මෙතැන කොත්තු ගැහුවට මහත්තයෝ උසස්‌ පෙළ විභාගයත් සමත් වෙලයි ඉන්නෙ. රැකියාවලට ඉල්ලුම්පත් දැම්මා ඒත් ජොබ් එකක්‌ ලැබුණේ නැහැ. අන්තිමට මම මේ රැකියාව තෝරගත්තා. දැන් මම වැඩ කරන්නේ හතරවැනි කඩේ. බදුල්ල ටවුන් එකේ කඩේක තමයි මුලින්ම වැඩ කළේ. ඒකෙන් තමයි කොත්තු දාන්න පුරුදු වුණේ. කසාද බැඳලා දරුවෝ හම්බ වුණාට පස්‌සේ ඒ කඩෙන් දීපු පඩිය ජීවත් වෙන්න මදි වුණා. වැඩි පඩිවලට වෙනත් කඩවලට මාරු වුණා. දැන් මට ඉස්‌කොලේ යන දරුවෝ තුන්දෙනෙක්‌ ඉන්නවා. අපේ ජීවිත ගින්දරට පිච්චුණාට දරුවන්ගේ ජීවිතවලට එහෙම වෙන්න දෙන්න බැහැ. මම ඉගෙනගත් දෙයින් හොඳ රැකියාවකට යන්න බැරි වුණා. මට බැරි වුණ දේ දරුවන්ට හරි කරන්න හොඳට උගන්වන්න ඕනා. මම හම්බ කරන හැම සතයක්‌ම වියදම් කරන්නේ ඒගොල්ලෝ වෙනුවෙන්."

ඡේසුදාස්‌ගේ ජීවිත කතාව එසේ ගලා යද්දී මොහොතකට අපි කොත්තුවේ අතීත කතාවට යමු. මැදපෙරදිග රටවල බොහෝමයක්‌ මිනිස්‌සු බායි රොටි, පරෝටා රොටි කෑලි කෑලිවලට කඩා මස්‌ හොදි සමග මිශ්‍ර කර රසවත් ක්‍ෂණික කෑමක්‌ ලෙස අතීතයේ ආහාරයට ගත්හ. ක්‍රමයෙන් ඒ ආහාර වේල තව තවත් රස කරගැනීමට ඔවුන් බිත්තරයක්‌ ද එයට එකතු කළේය. පසුකාලීනව ඔවුහු ඒ කෑම වේලට බිත්තරයක්‌ සමග එළවළු ස්‌වල්පයක්‌ ද එකතු කර තෙම්පරාදු කරගනිමින් වඩාත් රසවත් කෑම වේලක්‌ බවට පත් කර ගත්හ. කල්ගත වීමත් සමග එය මැදපෙරදිග රසවත්ම ක්‍ෂණික කෑම වේලක්‌ බවට ජනප්‍රිය විය. මැදපෙරදිග රටවල ගෘහ සේවයට ගිය අපේ මිනිසුන්ගේ ද රසවත්ම කෑම වේල එය විය. ඔවුන් මෙරටට පැමිණිය ද ඒ කෑම වේලේ රස අමතක නොවීය. එහෙත් බායි රොටි, පරෝටා රොටි අපේ රටේ නොතිබිණි. ඔවුහු ඒ වෙනුවට ගෝතම්බ රොටි එකතු කරගනිමින් ඒ රසවත් කෑම වේල සාදාගත්හ. ක්‍රම ක්‍රමයෙන් ඒ කෑම වේල වැඩි දියුණු වෙමින් රත් වුණු යකඩ තැටියක තවත් තහඩු කෑලි දෙකකින් කොටන කොත්තු රොටියක්‌ බවට පත් විය. මෙය මඩකලපුවේ ඉපැදුනු බවට ද නිල නොවන සාක්‍ෂි ඇත. එසේ නම් කොත්තු රොටියේ සුජාත අයිති හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවට නොවේද? එහෙත් කොත්තු බාස්‌ලා කිහිප දෙනෙක්‌ම අපට පැවසුවේ කොත්තුවේ ආරම්භය ඉන්දියාවේ කියාය. නමුත් කොත්තුව රත් වුණු තැටියක්‌ මත තහඩු කෑලි දෙකකින් කොටන්නේ අපේ රටේ පමණක්‌ බවත්, ඉන්දියාවේ ආපනශාලාවල කොත්තු සාදන්නේ තාච්චියේ බවත් ඔවුහු අපට පැවසූහ.

කොත්තු දැමීමට හසළ දැනුමැති, එමෙන්ම බේකරි කර්මාන්තය පිළිබඳ ලියෑවුණු පොතපත කියවා දැනුම ලබාගත් ඡේසුදාස්‌ගෙන් කොත්තුවක්‌ සෑදීමට අවශ්‍ය වන්නේ මොනවාදැයි කියා අපි විමසුවෙමු.

"රොටි ග්‍රෑම් 300 ක්‌, එළවළු ග්‍රෑම් 150 ක්‌, මිරිස්‌ කුඩු ටිකක්‌, කෑලි මිරිස්‌ ටිකක්‌, ලුණුq කුඩු සහ ගම්රිස්‌ කුඩු ටිකක්‌ ගලට දාලා පොල් තෙල් ස්‌වල්පයකුක්‌ එකතු කරලා, බිත්තරයක්‌ ගහලා දාලා මස්‌ කොත්තුවක්‌ නම් මස්‌ කෑලි ටිකක්‌ එකතු කරනවා. බිත්තර කොත්තුවක්‌ නම් තවත් බිත්තර දෙකක්‌ එකතු කරනවා. මාළු කොත්තුවක්‌ නම් මාළු කෑලි ටිකක්‌ එකතු කරලා මස්‌ හොදි ටිකක්‌ හරි මාළු හොදි ටිකක්‌ හරි එකතු කරලා හොඳට කොටන්න ඕනා. කෑලි කෑලි පොඩි වුණු තරමට කොත්තුව රසයි. එළවළු කොත්තුවකට නම් කිරි හොදි ටිකක්‌ දාන්න ඕනෑ. ඔය සියලු දේ පදමට එකතු වුණා නම් වෙන කිසිම දෙයක්‌ ඕනෑ නැහැ. අපේ මිනිස්‌සු දැන් කොත්තුවේ රස වැඩි කරන්න රසකාරක ස්‌වල්පයකුත් එකතු කරනවා. මමත් කොත්තු බාස්‌ කෙනෙක්‌ තමයි. නමුත් ඇත්ත කියන්න ඕනා. රසකාරක මිනිස්‌සුන්ගේ ඇඟට හොඳ නැහැ. මම හදන කොත්තුවලට රසකාරක දාන්නේ නැහැ. කෑම රස කරන්න හෝටලවල රසකාරක හැම කෑමකටම වගේ දානවා. කෑම රස කරන්න රසකාරක ඕනෑ නැහැ. අවශ්‍ය දේ අවශ්‍ය පමණින් එකතු කරනවා නම් කෑම හොඳට රස වෙනවා. ඒ වගේම අත් ගුණේ තියෙන්නත් ඕනෑ. සමහර අය හදන කෑමවලට රසකාරක නොවෙයි මොනව දැම්මත් රස වෙන්නේ නැහැ. ඒ වගේම කොත්තුවක නියම බර ග්‍රෑම් 800 ක්‌ තියෙන්න ඕනෑ. ගොඩක්‌ කොත්තුවල නියම බර නැහැ."

"කොත්තු වර්ග දෙක වෙන වෙනම හඳුන්වන්නේ කොහොමද?" මම නැවත ඔහුට පැනයක්‌ යොමු කළෙමි.

"තාච්චියේ දාන කොත්තුවට තාච්චි කොත්තුව කියනවා. ගලේ කොටන කොත්තුව හඳුන්වන්නේ කළු කොත්තුව කියලා." මගේ පැනයට ඡේසුදාස්‌ගේ පිළිතුර එසේය.

ඡේසුදාස්‌ගෙන් සමුගත් අපි තාච්චි කොත්තු සාදන ආපනශාලාවක්‌ සොයාගෙන සෙමෙන් සෙමෙන් කොටුව දුම්රියපළ පැත්තට ගමන් කළෙමු. ඉදිරියෙන් ආපනශාලා දෙක තුනකි. එහෙත් ඒ ආපනශාලාවල කළු කොත්තු සාදන බව දුටු අපි ඔවුන් සමග කතා බහ නොකර තව තවත් ඉදිරියට ගමන් කළෙමු. කොටුව දුම්රියපළට ආසන්නයේ පිහිටි ආපනශාලාවකදී තාච්චි කොත්තු සාදන බාස්‌ කෙනෙක්‌ සමග කතා බහ කිරීමට අපට අවස්‌ථාව ලැබිණි.

වසර දෙකකට වැඩි කාලයක සිට කොත්තු දැමීම වෘත්තිය කරගත් නාවලපිටිය ප්‍රදේශයේ සිට පැමිණි කිරන් ඔහුගේ ජීවිත කතාව අපට කෙටියෙන් මෙසේ පැවසීය.

"මම ඉස්‌කෝලෙකට ගිහිල්ලම නැහැ. මුලින්ම වත්තේ වැඩට ගියා. වත්තෙන් ලැබෙන පඩිය අපිට ජීවත් වෙන්න මදි. මට දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. අම්මටයි, තාත්තටයි දැන් වැඩ කරන්න බැහැ. ඒ දෙන්නව බලා ගන්නෙත් මමයි. මුලින්ම නාවලපිටිය කඩේක වේටර් කෙනෙක්‌ විදිහට වැඩ කළා. ඒකෙදි තමයි කොත්තු දාන්න ඉගෙනගත්තේ. ඒ කඩෙන් ලැබුණු පඩිය අපිට ජීවත් වෙන්න හොඳටම මදි. දරුවන් දෙන්නව බඩගින්නේ තියන්න බැරි නිසාම තමයි නාවලපිටියේ ඉඳලා කොළඹට ඇවිත් මේ හෝටලේ වැඩ කරන්නේ. මෙතන තුන්වේලම කෑම දීලා නවාතැන් පහසුකම් දීලා දවසකට රුපියල් අටසියයක්‌ දෙනවා. මම මෙතැනට ඇවිත් මාස හයක්‌ වෙනවා. මෙතැන මට හොඳයි."

"තැටියෙ කොටන කොත්තුව ද තාච්චියෙ දාන කොත්තුව ද වඩා රස...." මම ඔහුගෙන් කොත්තුවල රස ගැන එසේ විමසුවෙමි.

"තාච්චියේ කොත්තු දානකොට කොත්තුව රසයි. ඒ වගේම පිරිසිදුකමත් ඉහළින්ම තියෙනවා. කොත්තුව කොටන්නේ නැති නිසා මස්‌ කෑලි මාළු කෑලි රසට කැවෙනවා. දැන් දැන් මිනිස්‌සු තාච්චි කොත්තු හොයාගෙන එනවා. මම හිතන්නේ මිනිස්‌සුන්ට තාච්චි කොත්තුව රස වැටිලයි තියෙන්නේ." මුහුණේ සිනහා රැල්ලක්‌ මතු කරගනිමින් ඔහු එසේ කීවේය.

අපි ඔහුගෙන් සමුගෙන කොත්තු දාන තවත් ආපනශාලා කිහිපයකම කොත්තු බාස්‌ලා සමග කතා බහ කළෙමු. ඒ අතරින් ගිනියම් යකඩ තැටිය සමග ඔට්‌ටු වෙන මේ මිනිසාගේ කතාව අපව විශ්මයට පත් කළේය.

"මගේ නම නෂාර්. ගම කුරුණෑගල. මට දරුවෝ තුන්දෙනක්‌ ඉන්නවා. මේ කඩේ අයිතිකාරයා කුරුණෑගල එක්‌කෙනෙක්‌. කඩේ වැඩ කරන්නේ සේරම අපේ ගමේ අය. මම මෙතැන වැඩට ඇවිත් දවස්‌ පහළොවක්‌ විතර වෙන්නේ. මම මෙහෙම පිච්චෙන ඕනෑ මිනිහෙක්‌ නෙවෙයි මහත්තයෝ. මම අවුරුදු තුනක්‌ සෞදියේ ඩ්‍රයිවින් ජොබ් එකක්‌ කළේ. මගේ කරුමෙකට එහෙදි මම වැඩ කරපු වෑන් එක ඇක්‌සිඩන්ට්‌ වුණා. එතැනදි මගේ කකුල් දෙකම කැඩුණා. මාස ගාණක්‌ සෞදියේ ඉස්‌පිරිතාලෙක ඉඳල තමයි ලංකාවට ආවේ. ඒ ඇවිල්ලත් මාස ගාණක්‌ බෙහෙත් කළා. දැන් තමයි යන්තම් ඇවිදින්න පුළුවන්. මම හම්බ කරපු සේරම සල්ලි බෙහෙත්වලට වියදම් වුණා. අන්තිමට ඉතිරි වුණේ හදාගත්ත ගේ විතරයි. දොස්‌තර මහත්තයා කිව්වා තවත් අවුරුද්දක්‌ විතර යනකම් වාහන පදවන්න එපා කියලා. අපට ජීවත් වෙන්න මොනව හරි කරන්න එපෑ. වෙන කරන්න දෙයක්‌ නැති නිසා මේ රැකියාවට ආවා. ඇත්තටම මාසෙකට සැලකිය යුතු මුදලක්‌ හොයා ගන්න පුළුවන්. මගේ බෙහෙත්වලටත් වියදම් කරගෙන පවුලත් ජීවත් කරවන්නේ මේ ලැබෙන වැටුපෙන් තමයි."

ඇතැම් අය කොත්තු බාස්‌ලාව හඳුන්වන්නේ එක තැනක වැඩ කිරීමට නොහැකි, මාසෙන් දෙකෙන් ආපනශාලා මාරුකරන පුද්ගලයන් ලෙසටය. කතාබහ කළ සෑම කොත්තු බාස්‌ කෙනෙක්‌ගෙන්ම ඒ ගැන අපි විමසුවෙමු. ඔවුන් සෑම දෙනාම අපට ලබාදුන්නේ එකම පිළිතුරකි.

අපේ ජොබ් එකට EPF, බෝනස්‌, රක්‌ෂණ වන්දි කිසිවක්‌ නැහැ. අපි වැඩ කරන හෝටලයට වඩා රුපියල් පනහක්‌ හරි වැඩියෙන් ගෙවනවා කිව්වොත් අපි එතැනට යනවා. සමහර හෝටල් EPF, කපන, බෝනස්‌ දෙන තැන් තියෙනවා. එහෙම තැනක්‌ සෙට්‌ වුණ අය හැමදාම එතැන වැඩ කරනවා. මහන්සි වෙන්න බැරි අයත් තැනින් තැනට මාරු වෙනවා. හැබැයි ඒ අයට නම් පැවැත්මක්‌ නැහැ. මොකද කොත්තු දාන ජොබ් එක කියන්නේ ලේසියෙන් කාටවත් කරන්න පුළුවන් වැඩක්‌ නෙමෙයි. හොඳට මහන්සි වෙන්න ඕනා. මහන්සි වුණු තරමට ප්‍රතිඵල තියෙනවා. හැබැයි අපි හෝටල් මාරු කරන්නේ හොරකම් කරලා නෙමෙයි. අයිතිකරුවොත් එක්‌ක බොහෝම සුහදව."

ඒ පැනය අප ඡේසුදාස්‌ට ඉදිරිපත් කළ විට ඔහු සේවය කරන ආපනශාලාවේ අයිතිකරු ඉදිරියේදීම ඔහුගෙන්a අපට මෙසේ සෘජු පිළිතුරක්‌ ලැබුණේය. අපි එය ඔහුගේ වචනයෙන්ම මෙසේ සටහන් කර තැබුවෙමු.

"දැන් මම මෙහෙම වැඩ කර කර ඉන්නවා. මේ ගෑස්‌ ටැංකිය පුපුරලා මාව පිච්චෙනවා. මේ කඩවල්වලින් මට වන්දි මුදලක්‌ දෙයිද? බෙහෙත් ගන්න සල්ලි කීයක්‌ හරි දෙයිද? නැහැනේ. බොසාලා මෙහෙම නම් කියයි. ඔයාලා පරිසම්වෙලා වැඩ කළා නම් මෙහෙම වෙන්නේ නැහැනේ. බලන්න දැන් අපිට කොච්චර පාඩු ද, ඒ අය එතැනදී බලන්නෙත් කඩේට වුණු පාඩුව විතරයි. මම මේ කතා කරන්නේ අත්දැකීමෙන් මහත්තයෝ. මේ රැකියාවේ හැටි එහෙම තමයි. ආණ්‌ඩුවෙන්

අපි ගැන බලන්නෙත් නැහැ. කවුරුවත්ම අපව බලන්නෙ නැහැ. අපි ඉතුරු කරගත්තොත් අපිට නැතිවෙලාවකට ගන්න පුළුවන්. මෙතැන රුපියල් දාහක්‌ දෙනකොට වෙන තැනක රුපියල් එක්‌දහස්‌ දෙසීයක්‌ දුන්නොත් එතනට යනවා තමයි. මොකද අපිට වැඩියෙන් රුපියල් දෙසීයක්‌ එනවානේ. ඒක ඉතිරි කරගන්න පුළුවන්. නැත්නම් දරුවන්ට මොනවහරි අරන්දෙන්න පුළුවන්. මොන පොතේද ලියෑවිලා තියෙන්නෙ මම මේ හෝටලයේ සේවකයෙක්‌ කියලා. එහෙම ලියවිලා නැහැ. හැබැයි ජොබ් එක ස්‌ථිර කරලා, EPF, කපන, බෝනස්‌ දෙන හෝටල් තියෙනවා. ඒ වගේ තැන්වල ලැබෙන පඩිය පොඩ්ඩක්‌ අඩුයි. ඒත් හැමෝම කැමැති ඒ වගේ තැනක වැඩ කරන්න. කිසිම දෙයක්‌ දෙන්නෙ නැති රෑට යනකොට පඩිය අතට දෙන තැන්වල වැඩ කරනකොට පඩිය ටිකක්‌ වැඩියෙන් ගන්න ඕනෑ. ඒ වගේම මහත්තයෝ ආණ්‌ඩුවේ සෞඛ්‍ය අංශවලින් කාලෙන් කාලෙට අපේ පිරිසිදුකම සොයා බලනවා. අපි පැය අටේ ඔµsස්‌ ජොබ් එකක්‌ නෙමෙයිනේ කරන්නේ. ගෑස්‌ ලිපක්‌ ළඟ හරි කොත්තු ගලක්‌ ගාව උදේ ඉඳලා රෑ වෙනකම් පිච්චෙනවා. ඉතිං අපිට අත් දිගට ඇඳගෙන සපත්තු මේස්‌ දාගෙන කොත්තු දාන්න පුළුවන්ද? බැහැනේ. රයිස්‌ දාන්න පුළුවන්ද? අපේ රැකියා ගැන බලධාරීන් මීට වඩා තේරුම් ගන්න ඕනෑ."

"ඊයේ පෙරේදා ආරංචි වුණා කොත්තු බාස්‌ලාට ආණ්‌ඩුවෙන් පුහුණුවක්‌ දීලා නිල ඇඳුමක්‌ දෙන්න යනවා කියලා. ඒක නම් හොඳ වැඩපිළිවෙළක්‌. අපිත් කැමැතියි අපේ වෘත්තියට පිළිගත් ආයතනයකින් පුහුණුවක්‌ දීලා සහතිකයක්‌ දෙනවා නම්."

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...